June 01, 2013

අවුරුදු කුමාරි





දඩස් දඩස් ගාලා පාන්දර කෝච්චිය ගියේ පපුව උඩින් වගේ, එලාම් ඕනේ නෑ ඒකට තමා හැමෝම ඇහැරෙන්නේ. සුමාලි ඇස් ඇරියා බාගෙට, ආයේ වහගත්තා, විනාඩියක් හිටියා, මොහොතකින් ඇරියා, දෙපාරක් තුන්පාරක් එහෙම කරනකොට කොටස් වශයෙන් සුමාලිට ඇහැරුනා. පොරවාගත් රෙද්ද පහලටම ගිහින්, පුරුද්දට පෙරෙව්වට රස්නේ නිසා කකුල් හරිය තමා හැමදාම වහගන්නේ, මදුරුවෝ කනවට.සුමාලි ඇඳෙන් බැස්සට ලයිට් දැම්මේ නෑ,

හඳ එලිය තාම ජනේලෙන් එළිය කරනවා, කුමාරි අක්කා තාම ගොරව ගොරවා නිදි, එහා ඇඳේ දෙන්නත් එහෙමයි. උන්නං ඔලුවටම පොරවාගෙන, රස්නේ ගාණක් වත් නෑ, මදුරුවන් කාලා කැතවෙනවට වෙන්නැති.

ඇඳන් අතර තිබ්බ පුංචි තීරුව දිගේ ඇවිදලා සුමාලි කාමරේ දොර ලඟට ආවා. වතුර ජෝගුව අරගන දොර ඇරියා. හඳ එළිය කාමරේට දෝර ගලාගෙන ආවා. හීන් හුළඟට දැනුනු හීතලට සුමාලි ඇඹරුනා, ඇත්තටම හතර දෙනෙක් ඉන්න කාමර කෑල්ලට වැඩිය එලිය කොච්චර හොඳද? ටැප් එක ඇරපු සුමාලි ජෝගුවට වතුර පුරවාගත්ත්ත, ටැප් එකෙන්ම අත තියලා වතුර බීලා කටහෝදලා මිදුලට කෙල ගැහුවා.

එහා ගෙදර උයන සුවඳක් ආවා, සුමාලිට ගම මතක් උනා. අම්මා මේ වෙලාවට නැගිටලා උයනවා ඇති නංගිටයි මල්ලිටයි ඉස්කෝලේ ගෙනියන්න. තාත්තා කොහොමත් නිදි නෑනේ. සීයා ඉස්සරහ පිලේ බුලත් විටක් කොටනවා. මල්ලි වංගෙඩිය උඩ ඉඳගන, නංගි දොර ගාව, එයානම් පාඩම් කරනවා තේ හැදෙනකන්. පාඩම් කරනවා නෙමේ කරනවා කියලා අම්මට පෙන්නනවා, නැත්තම් බැනුම් නේ, ඒක නංගිට කියලා දුන්නේ සුමාලි. සුමාලි උසස් පෙළ කරලා ප්‍රතිඵල එනකන් ඉන්නේ. කැම්පස් නම් යැවෙන්නෑ, එකස්ටර්නල් තමා කරන්න හිතාගන ඉන්නේ සුමාලි.

හීටරේ පුංචි හින්දා දෙන්නට විතරයි සුමාලි වතුර තිබ්බේ, එයාටයි කුමාරි අක්කටයි. අර දෙන්නා වෙනම. තේ එක හැදීගන එනකොට කුමාරි අක්කත් ඇහැරිලා.
මෝනිං, කුමාරි අක්කා නින්දෙන්ම කිව්වා
මොනිං, ඔයාම සීනි දාගන්න මදිනං, සුමාලි තේ එක දෙන ගමන් කිව්වේ ආයේ පාරක් යන්න බැරි නිසා, හැමදාම කුමාරිට සීනි මදි,
කුමාරි ඇඳට නැගිටලා ඉඳගෙන, කකූල් දෙක වකුටු කරගත්තා, ඊට පස්සේ අම්මා හදලා දෙන තේ එක වගේ ඒක බිව්වා,
නංගි කවදද ගෙදර යන්නේ
පඩිදාට පහුවදා
පඩිදාට පහුවදා නිවාඩු නෑනේ
ඒ උනාට මම යනවා
ආපුවාම පඩි කපයි!
මම ආයේ එන්නේ නැනේ..
ඇයි බඳිනවද?
අක්කා කියන ඒවා, රිසලස් එනවා
ඉතිං!
මම ගෙදර නවතිනවා ක්ලාස් යන්න
අපරාදේ මම හදලා දුන්න රස්සාව
මම කිව්වනේ රිසලස් එනකන් කියලා
ඉතිං හවස යන්න පුලුවන්නේ
මට බඩු වගයක් ගන්න තියනවා
මං දන්නවා අවුරුදු කුමාරි වෙන්න නේද?
සුමාලි හිනාඋනා
ඊට පස්සේ අනිත් දෙන්නත් නැගිට්ටා, කාමරේ කලබල උනා, වට පිටාවෙත් සද්ද වැඩිඋනා, කපුටෝ කෑගහනවා
දෙන්නා ඈඳගෙන පාරට පැන්නා.
ෆැක්ටරියට අතේ දුර හොඳ ඒකයි
ඔයා අපරාදේ යන්නේ
ඇයි?
වැඩ හොඳයි කියලා සුපරවයිසර් කිව්වා
ඒ වුනාට තාම තනියම වැඩක් නෑනේ
ඔහොම තමා ඉස්සෙල්ලම නූල් කපන්න දෙන්නේ
ඊ ලඟට වාටි මහන්න ඊට පස්සේ බොත්තම්, කොලර්, අන්තිමේදී සම්පූර්ණ වැඩ,
මම තාම වාටිනේ
ඒක තමා සුපර් කිව්වේ
ඒ කොහොමද?
ඒයාලා දන්නවා වාටි මහනකෝට වැඩ හොඳද නරකද කියලා
හ්ම් .. මම අසා ගුරුවරියක් වෙන්න
දහම් පාසලේද බං
නෑ බාබර් සාප්පවක
දෙන්නම හයියෙන් හිනාඋනා
පාරේ කොල්ලොත් බැලුවා
දෙන්න හන්දියෙන් හැරුනා
අන්න අදත් ඉන්නවා,
අර හැමදාම ඉන්න කොල්ලා
එයා ඉන්නේ බස් එකටද නැත්තං අපි එනකන්ද?
ඌ බලන්නේ උඹ දිහා
නෑ අක්කා දිහා
මං දිහා බලනවානම් ඌ මෙලාකටත් මම දාගන
උඹ හිනාවෙයන් ඌට, ගොනා වගේ එයි පස්සෙන්
මට බෑ
මං දන්නවා අර ගමේ කොල්ලා ගැන නේද උඹේ හිත
සුමාලි ඇඹරුනා
මං දන්නවානේ උඹ රස්සාවට ආවෙත් එයා හින්දනේ

සුමාලිගේ හිත එක පාරටම ගමට ගියා. වැවෙන් නාලා සුමාලි කොණ්ඩය පැත්තකට දාගත්තා, ගවුම ටිකක් කොටයි, බාල්දිය එක අතක, අනිකේ සාලුව ගලින් ගලට අඩිය තිය තිය වැව් බැම්බට නැග්ගා. බැම්ම උඩ කුමාරයෙක් වගේ සුරංගයියා, බයිසිකලේ නවත්තගන බලාගෙන ඉන්නේ සුමාලි දිහා. නාලා එනකොට පහුගිය දවස් දෙක තුනේම මෙයා ආවා. මොනවා කියයිද දන්නෑ, සුමාලි අත මැදට කරගත්තා සාලුවෙන් ගවුමේ කොට වැහෙන්න.

හිච්චි මැණිකේ නංගී නාලා වගේ.
සුමාලිට නෑයෝ ඔක්කොම කියන්නේ හිච්චි මැණිකේ කියලා, සුමාලි කෑල්ල ගමට මොඩ් වැඩියි වගේ.
අයියා කොහෙද යන්නේ? සුමාලි එහෙම ඇහුවේ මෙයා අහුලන්නේ හොරගල් බව දැනගනමයි, ඒ වුනාට සුරංග අයියා එනවට සුමාලි කැමතියි.
නංගි අද නම් හරි ලස්සනයි!
සුමාලිට ඒ කථාව නම් බලපොරොත්තු උනේ නෑ, අම්මාවත් එහෙම කියලා නැ සුමාලිට. සුමාලිගේ ඇගේ ගිනි සැරයක් ගියා වගේ
තොල් වේලුනා, බාල්දිය බිම තිබ්බා, තාලෙකට කොණ්ඩේ අතින් පස්සට දාගන, ඔලුව පාත්කරගන සපරංගයියා දිහා බැලුවා
එයා තාම හිනා වෙනවා. සුමාලි තොල් පිට පෙරලුවා හිනා උනේ ටිකයි.

අයියාගේ කෝලම්
නෑ ඇත්තටම ඔයා ලස්සනයි
මං කියන්නේ බොරුනම් කන්නාඩියකින් බල‍න්න
නැත්තං මේ පාර අවුරුදු කුමාරි තරඟෙට ගිහින් බලන්න

සුමාලි ඒ පාර හිනාවෙලා ගෙදර ආවා. ඒ ආවේ අවුරුදු කුමාරි තරඟෙට යන්න හිතාගන. ගියපාර බයිසිකල් රේස් එකෙන් දින්නේ සුරංගයියා. සුමාලිලා පාරේ අයිනේ ඉඳලා කෑගැහුවා, වතුර ගැහුවා. සුමාලිට ගිය අවුරුද්දේ ටිවී එකේ අවුරුදු කුමාරි තරගේ සිහිවුනා

ගෙදර ආපු සුමාලි රෙදි වනන්නෙත් නැතිව කෙලින්ම දිව්වේ තාත්ත රැවුල කපන තැනට, වටපිට බලලා කැඩ්ච්ච කන්නාඩි කැල්ල ගත්ත සුමාලි එහෙට මෙහෙට හරවා මූණ, ලැම, නිතඹ , කොණ්ඩේ, පංච කල්‍යාණයම බැලුවා.
ටිකක් වෙලා ගියාම සුමාලිට පෙනුනේ අවුරුදු කුමාරිට ඇඳලා ඉන්න එයාවම. සුමාලිගේ හිතට විදුලි කොටනවා වගේ රූප එනවා
ඔන්න සුරංගයියා බයිස්කල් රේස් එක දිනලා , එයා අවුරුදු කුමාරි වෙලා , ටීවී එකෙනුත් ඇචිත්, පොටො ගහනවා, තෑගි දෙනවා, අන්තිමේදි තරුණි පත්තරේත් මුල් පිටුව සුමාලිගෙන් සැරසිලා
කඩාපන් ඕක හැඩ බලලා

අම්මා එහෙම කියනකොට සුමාලි ලැජ්ජාවෙන් ඇඹරිලා පිලිකන්නට දිව්වා, අම්මා බලාගෙන හිනා උනා වයස හරි එයා හිතන්නැති.
සුමාලිට තනිවම හිනා
අන්න අරූ උඹට හිනාවෙනවා
සුමාලි ආපහු පියවි ලෝකයට ආවා
ඇත්තමයි අර කොල්ලගේ කට කණේ
මං ඌට නෙවේ හිනා උනේ!
මටම හිනා ගියා ගමේ සිද්ධියක් මතක් වෙලා
ඒ උනාට මාසයක් ඔතන බලා ඉන්න ඒක ඇති
ඔයා දන්නවාද ඌ අර යතුර කරකවා කරකවා හිටියේ ඇයි කියලා?
නෑ!
ඌ ආවේ බයික් එකක හරි කාර් එකක හරි කියලා පෙන්නන්න
එහෙනම් බස් හොල්ට් එකේ ඉන්නේ
පෙට්රල් ගහගන්න වෙන්නැති,

කුමාරි අක්කා මහා හයියෙන් හිනා උනා, ආයෙමත් වට පිට මිනිස්සු බ‍ලනවා එයාට ගාණක් වත් නෑ. කුමරි සුමාලිගේ නැන්දගේ ලොකු දුව, එහා ගමේ හිටියේ, කොළඹ ගාමන්ට් එකකට ඇචිත් එයාට නගරේ හොඳට පුරුදුයි. දැන් අවුරුදු තුනක්, ප්‍රමෝෂන් ලැබි‍ලා හෙට අනිද්දම සුපර්වයිසර් කෙනෙක් වෙයි, එයා තමයි සුමාලිව ගාමන්ට් එකට ගත්තේ අත් උදව් කරන රස්සාවට. ඒ කියන්නේ ට්‍රේනිං

සුමාලි රස්සාවට ආවේ අවුරුදු කුමාරි තරඟෙට සල්ලි හොයාගන්න. මනමාලියෝ අන්දන බිංදු අක්කා හමුවෙන්න ගියාට පස්සේ තමා රස්සාවක් ඕනේ උනේ, එයා හිටපු අවුරුදු කුමාරියක්. අවුරුදු කුමාරි දිනන්න නම් මනමාලියෙකුට දාන මේකප් එකක් දාන්න ඕනේ, ලස්සන ඔසරියක් තමා, කර ටිකක් වැඩිපුර ඇරලා බඩ පේන පොඩි හැට්ටයක් අඳින්න ඕනේ, ඇඟට තදට ඔසරිය ඇරලා. අඩි උස සෙරෙප්පු දාලා තනි ඉරක තාලෙට ඇවිදින්න පුරුදු වෙන්න ඕනේ. ඔයා මේ බඩු ටික ගේන්න මම ඔයාව අන්දලා දෙන්නම්.

සුමාලිට අඩි උස සෙරෙප්පු කොහෙද? ඇඟලි වලින් ඇවිදින්න පුරුදු උනා එයා දෙකක් ගන්නකන්. දවසක් එයාට හම්බු උනා පරණ අඩි උස සපත්තු දෙකක්, ගෙදර කවුරුත් නැති වෙලාවක අම්මාගේ ඔසරිය ඇඳගන එයා අචුරුදු කුමාරි වෙන්න පුරුදු උනා, මල්ලියි නංගියි තමා නරඹන්නෝ, පස්සේ තමා සුමාලි දන්නේ, ඒ කතාව ගම පුරාම ගිගින්. මල්ලිගේ කට හොඳ නෑ.

ඊට පස්සේ සුමාලි කුමාරි අක්කත් එක්ක ගාමන්ට් එකේ වැඩට ආවා අවුරුදු කුමාරි වෙන්න ඕනේ බඩු ටිකට සල්ලි හොයා ගන්න. බිංදු අක්කටත් කීයක් හරි දෙන්න වෙයි, නැත්තන් එයා වෙන කෙනකුට අන්දයි. ඒ හින්දා සුමාලි ලියමක් දාලා බිංදු අක්කව බුක් කළා, කොල් කරලත් කිව්වා, එයාගේ ගාන 3000 යි. සුමාලිට ඕනෑවුනේ සුරංග අයියාට පේන්න අවුරුදු කුමාරි වෙන්නයි, එතකොට දෙන්නම දිනුම්, එදාට එයා මට ආදරෙයි කියයි, අම්මලත් කැමතිවෙයි, නෑදෑකමෙනුත් දුරින් මස්සිනා කෙනෙක්නේ සුමාලිට හිතුනා.

දවස ගෙවෙන්නේ හරි හිමිහිට, සුමාලි වැඩකරන ගමන් ඔරලෝසුව බැලුවා, හරියට තනට පඩි දෙන්න පටන් ගත්තා. සුමාලිට පඩි ලැබුනේ හතරට. හරිම සතුටයි, ජීවිතේ පලවෙන පඩිය. හතර හමාර වෙනකොට පාරට ආවා, කුමාරි අක්කා හමුඋනා, දෙන්නම ගියා ෂොපින්,

අම්මලාට තාත්තලාට බඩු ගන්නවාද?
මේ සල්ලි මදිවෙයිද දන්නෑ
ඉස්සෙල්ලා එහෙනම් උඹේ බඩු ටික ගනිමු, අපේ අවුරුදු කුමාරිනේ….

සුමාලිට ලැජ්ජා හිතුනා, ගමේ අයත් අවුරුදු කුමාරි කථාව දන්නවා, දැන් නම් තරඟෙට ගිහින් බෑ, මේ පාර ටීවී එකේත් ඒක යනවා
කඩෙන් කඩේට ගිය දෙන්නම අවුරුදු කුමාරි බඩු ගත්තා. බඩු මනමාලියෙකුටද කියලා කඩේ කොල්ලත් ඇහුවා. මල්ලිටයි නංගිටයි ටී ෂර්ට් , තාත්තට සරමයි, සීයට තුවායයි ඔන්න සල්ලි මදි උනා,

හරි වැඩේ සල්ලි මදි
කොච්චරක්ද ?
දෙසීයක්.
මං දෙන්නම්
බස් එකටත් මදි වෙයි
මම උඹට පන්සීයක් දෙන්නම් පස්සේ ගමු, දිනපුවාම සල්ලිත් හම්බු වෙනවා.
අනේ අක්කේ එපා
ගනින් ගනින් මට බොනස් ලැබුනා
අන්තිමේදී අම්මාට ගත්තෙත් පුංචි තුවායක්
දෙන්නා බොඩිමට ආවේ අතින් කටින් බඩු එල්ලාගන.
ඇඳ උඩ තියාගන බඩු තේරුවා.
ලස්සන රෙද්දක්! කොට්න් නේද?
මගුල් ගෙදරකටද?
කාමරේ අනිත් දෙන්නා කිව්වා
සුමාලි හිනාවුනා විතරයි.
කුමාරි අක්කා හිනාවෙවී අතීත කථාවම කිව්වා
මේ ඔසරියයි, හැට්ට රෙද්දයි දෙකම වෙනම බෑග් එකකර දාමු
අතේම ගෙනිච්චේ නැත්තං පොඩි වෙයි.
අනේ අපට ඇඳලා පෙන්නන්නකෝ
කරදරේ වැඩිකමට සුමාලි කැමති උනා

තුන්දෙනාම එකතු වෙලා සුමාලිට ඇන්දෙව්වා. සුමාලි අන්තිමේදී කන්නාඩියෙන් බැලුවා. අඩි උස සපත්තු දාලා ඇවිද්දා. එයාට කන්නාඩිය ඇල්ලුවේ කුමාරි අක්කා. සුමාලිට මම අවුරුදු කුමාරි තමා කියලා හිතෙන තරමටම එයාවම කන්නාඩියෙන් පෙනුනා.
බිංදු අක්කා හරි, ඇඳුමයි , මේක් අප් තමා කැපිලා පේන්නේ, අනික සුමාලිගේ ඇඟත් හැඩයිනේ, පහුගිය මාස තුනේම සුමාලි රූප ලාවන්‍ය කලා, තරුණි පත්තර ඔක්කම කියව කියව සියලු දේම කළා. පැය ගනන් හඳුන් ගාගන හිටියා, කොමාරිකා කෑවා, සමන් පිච්ව චතුර බීවා, ව්‍යායාම කලා, දිනන්නම තමා එයාට ඕනෑ උනේ.

පහුවදා උදේම නැගිට්ට සුමාලි ගෙදර යන්න පිටත් උනා, බස් එක ගමට ලඟාවෙනකන් එයා දැක්කේ අවුරුදු කුමාරි හීනේ. බස් එකෙන් බහින කොට හචස තුනයි. වෙල අයිනේ ගුරු පාර දිගේ සුමාලි ඇවිදගෙන ගියා. අතරමගදි හමුවුනේ කිරි අම්මා. ඒ කිව්වේ පුංචිකාලේ එයාලව හදපු අත්තම්මා කෙනෙක්.






ගමේ ළමයිම හදලා වයසට ගිය අත්තම්මා කෙනෙක්. එයාට හැමෝම කිව්වේ කිරි අම්මා කියලා. බැඳලා නැති උනාට පුතෙකුත් හිටියා. එයා කොහොම ලැබුණද කියලා කවුරුත් දන්නෑ, මිනිස්සු කිව්වේ ඒත් හදාගත්ත දරුවෙක් කියලා. ලඟටම එනකන් කිරි අම්මා සුමාලිව ඇඳිනුවේ නෑ.

කිරි අම්මේ මං සුමාලි
මට දැන් ඇහැ පෙනෙනවා අඩුයි දුවේ
ඒ උනාට හිනාවෙන් මං හිච්චි මැණිකේ ඇඳිරුවා
අවුරුදු හොඳද කිරි අම්මේ
අනේ දුවේ උඹ දන්නේ නැද්ද?
ඇයි කිරි අම්මේ, සුමාලි ටිකක් කලබලෙන්
අනේ දුවේ අලියා ගහලා අපේ කොලුවා නැති උනානේ
මේ පාර කුඹුරු වැඩ කලෙත් නෑ
කන්නේ බොන්නෙත් අමාරුවෙන්
මං විතරයි ගෙදර, ලේලිත් මහ ගෙදර ගියා
අනේ මගේ කොල‍්ලා හිටියනම් මට මෙහෙම වෙන්නෑ....

කිරිඅම්මා පාත්වෙලා කිලිටි රෙද්දෙන් කඳුලු පිහදාගත්තා. සුමාලිට කිරි අම්මා එයාට කථා කියනවා මැවිලා පෙනුනා.
ඕන් දුවේ එහෙම තමා ගැමුණු කුමාරයා කොත්මලේ කලු මැණිකේට ආදරේ උනේ, පස්සේ ඉතින් අක්කයි නංගියි දෙන්නම කැන්දන් ගියා බිසෝ මාලිගාවට, ඉතින් කිරි අම්මේ ඒ දෙන්නගෙන් අග බිසව උනේ කවුද? නංගි අග බිසව කරගන්නේ නෑ නේද?
ඕං පැහිච්ච කථා කියනවා, මං කොහොමද දන්නේ ඒක.
කිරිඅම්මා සුමාලිගේ ඔළුව අතගාලා හිනා උනා

සුමාලිට ආයේ පියවි ලෝකයට එනකොට, කඳුලු පිහදාපු කිරිඅම්මා එයා ඉස්සරහ හිටගන ඉන්නවා.
ඊට පස්සේ
මං යඤ්ඤං දුවේ කියලා උනදෑ යන්න ගියා.
සුමාලි ගල් ගැහිලා බලාගෙන හිටියා
කිරි අම්මේ ඔහොම චූට්ටක් ඉන්න
කිරි අම්මා හැරුණා
සුමාලි එයා ලඟට ගියා
කිරි අම්මේ මේක ගන්න

අවුරුදු කුමාරි තරඟෙට පරිස්සමෙන් ගෙනාපු හැට්ට රෙද්දයි, ඔසරි රෙද්දයි කිරිඅම්මාට දුන්නා. පර්ස් එක ඇරලා බිංදු අක්කට දෙන්න තියාගත්ත සල්ලි කවරෙත් ගත්තා, ඒකත් දුන්නා, බිමට නැමි‍ලා දණ ගහලා වැන්දා,
මගේ හිච්චි මැණිකෙට තුණුරුවන්ගේ සරණයි, තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි, ආරස්සාවයි, යන ගමන, එන ගමන කරන කියන රැකියාවල් … කිරි අම්මා නොනවත්වා පිං දෙනවා.
සුමාලි නැගිට්ටා
කිරි අම්මේ මං ගිහින් එන්නම්
උඹ අවුරුදු කුමාරියක් වගේ දුවේ
කිරි අම්මා අවුරුදු කුමාරි ඇඳුම් අරගන යන්න ගියා.
සුමාලි ඇත්තටම අවුරුදු කුමාරියක් වගේ සැහැල්ලුවෙන් ගෙදර ගියා.
එච්චරයි!





රචනය නිරංජන් මීගම්මන
www.shilpasayura.org

No comments:

Post a Comment

ඔබේ දැනුම එකතු කරන්න